Monday 4 June 2012

එංගලන්තෙන් ලංකාවට පොඩි Message එකක්!


   ආයුබෝන්! ඔන්න බොහෝමත් කාලෙකට පස්සේ බ්ලොග් රෝලට අලුත් ලියමනක් දාන්ට හිතුනා. කාරණාව තුටු වෙන්ට කාරණයක්ද නැද්ද මන්දා කොහොම උනත් මේක ලියන්ට හේතුව නම් අපි ( මමයි මා එක්ක එංගලන්තේ ආව යාලුවෝ ටිකයි ) මෙහෙ ඇවිත් අදට අවුරුදු 2යි. ඉතින් අද පොඩ්ඩක් ආපහු හැරිලා බලන්ට හිතුනා ඒ අවුරුදු 2ට කලින් කාලේ  ගැන. ඉතින්  මෙහෙට එනකොට අපි කවුරුත් හිතන් උන්නේ MSc එහෙම ගහන්ට ඕනි කියලානේ. යන්තන් එතින් අපේ උන් ගොඩක් ඒක නම් කොරගත්තානේ. අනිත් උන් ටිකත් ලගදීම එවා ගොඩදාගන්නේ නැතෑ. ඉතින් මොකෝ මේ ලියමනේ තේරුම කියලා දැන් ඔහෙලාට හිතෙනවාත් ඇතිනේ. මමත් ඒක හරියට දන්නේ නෑ. ඉස්සරහට බලමුකෝ.

      අද උපන් ලංකාවෙන් සැතපුම් දහස්ගානක් දුර ඉද්දී රෑට ගෙදර එනකොට අම්මා "පුතේ කාලද ඉන්නේ ? " කියලා අහනවා අද වගේ මතකයි. ඒ වුනාට දැන් ඉතින් එහෙම අහන්ට ඉන්නේ කවුද.ගෙදර එන්න පරක්කු උනාම " අද කොහේද ගියේ ?" කියලා අහන්ට කෝ තාත්තා ලග නැනේ. ඒ දවස්වලනම් ඒක මහ වදයක් කියලා නේද හිතුනේ. දෑන් ඉතින් රෑට ගෙදර ආවත් නාවත් කවුරු දනීද කවුරු අහයිද.

         එදා එක බත් එක කැන්ටිමෙන් කාපු යාලුවෝ මතක් වෙනවා අද වගේ. මතකද සමහර උන් ඔක්කෝටම කලින් බිත්තරේ කටේ දාගන්නවා පෙරේත කමට. අපිත් ඉතින් ඒ වෙලාවට පදෙන් ඇමතුවාට මොකෝ බන් උබලා නැතුව  පාලුයි මචන්.එකට බෝඩින් වල සෙට් වෙලා රෑ එලි වෙනකන් කුප්පි දාලා එකට පාඩන් කරපු උබලා නැතුව පාලුයි බන්. මට තාම මතකයි exam ඉවරවෙලා එලියට ඇවිත් මචන් උබ නිසා මේක ගොඩගියා කියපු යාලුවෝ. උගුර ලේ රහ වෙනකම් උබලාට කියා දුන්නට පාඩු නෑ මචන්. හවසට ක්‍රිකට් සෙල්ලම් කරපු රෑට කැරම් ගහපු උබලා නැතිව පාලුයි බන්. ඉස්සර ලකුනට දෙකට කෑගහගත්තට ග්‍රවුන්ඩ් එකෙන් එලියට ඒවා ගියේ නෑනේ බන් කවදාවත්. ඇයි එතකොට කෙල්ලෝ සීන් කරන්න , පස්සෙන් යන්න එහෙම ආපු උබලාත් අමතක නෑ මචන්. පොඩි කට්ටවල්ද අපි කෑවේ නේ. එකෙක් සීන් කරද්දී කීයක් උගේ සප් එකට ගියාද නේ. ඕන වැඩකදී කරමු මචන් කියලා අපි අතගහපු හැම මගුලකටම ආව උබලාත් තාම මතකයි මචන්.උබලා නොහිටියානම් අපේ යුනි ජීවිතේ පුස් බන්. 

           සමහරු ඉතින් අපි රබර් සෙරෙප්පු දාලා කැම්පස් ආවාම අපි ගොඩයෝ කියලා හිතුවාට රැවුල වැව්ව පලියට කුඩු කාරයෙක් ජේ.වී.පී. කාරයෙක් කියලා හිතුවාට, ඩෙනිම් 2ක් හෝද හෝද ඇදපු නිසා හිගන්නෝ කියලා හිතුවාට අපි ඉතින් අපේ යුනි ආතල් එක ගත්තානේ.සමහරු කැම්පස් එක ෆෑෂන් ශෝ එක්ක කියලා හිතුවාට අපි මක්කරන්නද අපේ අම්මලා තාත්තාලා දුක් මහන්සි වෙලා අපිව එතනට ගෙනාවේ ඉගෙනගන්නනේ. මොනා උනත් ඒදේ අපි කලානේ කියලා සතුටුයි ගොඩක්.  නැද්ද මචන්ලා. ඉතින් එහෙම අපිව පිට පොත්තෙන් හංවඩු නොගහපු අපේ බැජියොත් අපේ යාලුවොත් මතක් කරන්නේ ආදරෙන්. අපි රස්තියාදු කාරයෝ කියලා හිතපු අය ගැනත් තරහක් නෑ. උබලා නැතුවාට අපිට ගොඩාක් යාලුවෝ හිටියා බන්. උබලා නැතුවාට අඩුවක් නෑ. ඉතින් දෙමාපියෝ යාලුවෝ  සේරම දාලා ඇවිත් අවුරුදු 2ක් උනාට  අපිට කවුරුත් අමතක නෑ. අද වාගේ මතකයි. වචනෙකින් හරි උදව්වක් කරපු උබලා වගේ මිනිස්සු දාලා එන්න උනේ අවාසනාවට. මොනා උනත් අදටත් ඒ වගේ කොල්ලෝ සෙට් එකක් මෙහේ අපි එක්ක ඉන්න එක හිතට සැනසීමක්. කොහොම වෙතත් ලංකාවේ ඉන්න උබල එක්ක වැඩිය කතාවට වෙලා නැතුවාට අපි එදා වගේමයි. ඉස්සරහත් එහෙමයි. 




Thursday 12 April 2012

එකත් මූ දෙකත් මූ...!


       සෑහෙන කාලෙකට පස්සේ ලියන්න හිතුනා පොඩි රස කතාවක්. මේ ටික කාලෙදී මුකුත් බ්ලොග් රෝලේ නොදැම්මට ලියපු ලියුම් නම් නැතුවා නෙමේ. ඒවාත් ටික ටික එලියට දාන්නම්කෝ.මේ සිද්දිය උනේ මීට දවස් දෙක තුනකට කලියෙන්. ඔන්න ඉතින් එදා රෑ මමයි තවත් අපේ මිත්‍රයෝ කීපදෙනෙකුයි ලග එන අලුත් අවුරුද්දට අපි කොරන්ට තීරණය කරාපු අලුත් අවුරුදු උත්සවය ගැන කතාකර කරයි උන්නේ. ඉතින් මේ සංවාදේ කෙරුනේ අපේ ආදර රෝටා ඉන්න ගෙදර තමයි.රෝටා කවුද කියලා මතක නැත්තන් මේන්න මෙතනින් මිනිහාට රෝටා කියන්ට මුල්වුනු කතාව බලාගන්ටකෝ. 

       ඔන්න ඉතින් අපි එදා දිනේ යෙදෙන වැඩ සටහන් එකින් එක කතා කොරන් යද්දී අපේ කතාබහ නැවතුනා මීටර 100 තරගේ ගාව. අපි පොඩි කාලේ ඉදන් තිබ්බ අවුරුදු උත්සව වල ගම හරහා දිව්වට මේ සුද්දාගේ රටේ ඔව්වා කොරන්න ටිකක් අමාරු නිසා වැඩේ මීටර් 100ක් කරන්ට උනානේ. කොහොම වෙතත් මේ තරගේ ගැන බොහොම ලොකු බලාපොරොත්තු තියෙන කොල්ලෙක් තමයි අපේ රෝටා. ඉතින් ඒක නිසාම එතන් හිටපු කවුරුත් කිව්වේ "අපෝ ඕකනම් ඉතින් දිනන්නේ අපේ රෝටා තමයි " කියලා. ඒ උනත් ඉතින් යාලුවන් එක්ක එක ගෙදර ඉද්දී තම තමන්ගේ පුංචි රහස් ගෙදර ඉන්න අනිත් යාලුවෝ දැනගන්න එක ඉතින් වලක්වන්න බැහනේ. මෙන්න මෙහෙම පොඩි රහසක් අපේ රෝටාගෙත් එලිවුනා එදා. ඔන්න ඉතින් අපි එහෙම රෝටා දිනයි කියලා කිව්වාම ඔය ගෙදරම ඉදපු තවත් පොරක් තමයි අපේ ඩලමන්. ඉතින් ඩලමන් පැනපු ගමන් කියපි "අනේ මේ රෝටාගේ දිවිලි අපි නොදන්නවාය බන්!" කියලා. ඔන්න ඉතින් අපේ කුකුසත් ඇවිස්සුනා මේ කතාවෙන්. මොනවහරි මඩ ගොඩක්නම් අපේ අයත් හොය හොයනේ යන්නේ. ඉතින් අපිත් ඇහුවා "ඇයි බන් ඩලමන් එහෙම කියන්නේ? "
ඉතින් ඩ්ලමනුත් මිනිහටම සුපුරුදු හක හක හිනාව දාලා ,...
"ඇයි මචන් මේ රෝටාගේ ඉස්කෝලේ ක්‍රිඩා උත්සවයේ (Sports meet) එක අවුරුද්දක මීටර 100 පලවෙනි තැනයි දෙවෙනි තැනයි දෙකම මූ එකම අවුරුද්දේ දිනලා සහතික තියෙනවානේ." 

මේක අහපු අපිටත් ඉතින් බොහොම හිනා. කොහොම හරි අපේ රෝටානම් එදා සිට අද දක්වාම් මේ චෝදනා ප්‍රතික්ශේප කොරනවා. හැබැයි ඉතින් තතු දත්තෝ නම් කියන්නේ මිනිහා ඒ දවස් වල ඉස්කෝලේ ලියන මහත්තයාගේ ගෙදර කේක් ගෙඩි එහෙම අරන් යනවා මතක උදවිය ඉන්නා බවයි.මේව්වගේ ඇත්ත නැත්තනම් ඕන අපි දන්නේ නෑ.රසබර නිසා ලියලා දැම්මා.